රාජිත සේනාරත්න

From Tobacco Unmasked Sinhala
TobaccoUnmasked_English
TobaccoUnmasked_Tamil

Contents

පසුබිම

1950 මැයි 29 වන දින උපත ලද නම්බුකාර හැලඹගේ රාජිත හරිස්චන්ද්‍ර සේනාරත්න, ශ්‍රී ලංකාවේ කළුතර දිස්ත්‍රික්කය නියෝජනය කරන දේශපාලනඥයෙකි වන අතර දන්ත ශල්‍ය වෛද්‍යවරයෙකු සහ වෘත්තීය සමිති ක්‍රියාකාරිකයෙකු ද වේ. 2020 නොවැම්බර් වන විට, ඔහු 2020 පාර්ලිමේන්තු මැතිවරණයට තරඟ කිරීම සඳහා පිහිටුවන ලද දේශපාලන සන්ධානය වන සමගි ජන බලවේගය නියෝජනය කළේ ය.[1][2] රාජිත සේනාරත්න කොළඹ නාලන්දා විද්‍යාලයෙන් සහ ආනන්ද විද්‍යාලයෙන් විධිමත් අධ්‍යාපනය ලබා ඇති අතර තෘතියික අධ්‍යාපනය ශ්‍රී ලංකාවේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් ලබා ඇත.[3]

රූපය 1: රාජිත සේනාරත්න. මූලාශ්‍රය: ෆේස්බුක්[4]

රාජිත සේනාරත්න දේශපාලනයට පිවිසෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ (SLFP) ශිෂ්‍ය සංගමයේ සභාපති ලෙස පත්වෙමින් 1974 වසරේ විශ්වවිද්‍යාලයේ සිටියදීය. ඔහු, 1980 දශකයේ මුල් භාගයේ අලුතින් පිහිටුවන ලද ශ්‍රී ලංකා මහජන පක්ෂයේ සාමාජිකත්වය ලබා ගත්තේය. පසුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ එදිරිවාදී පක්ෂය වූ එක්සත් ජාතික පක්ෂයට (UNP) සම්බන්ධ වූ ඔහු 1994 දී ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස පත් විය. 2007 ජනවාරි මාසයේදී ඔහු නැවතත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සම්බන්ධ වූ නමුත් 2015 පැවති ජනාධිපතිවරණයේදී විපක්ෂයේ පොදු අපේක්ෂකයාට සහය දැක්වීම හේතුවෙන් පක්ෂයෙන් නෙරපා හරින ලදී. 2015 පෙබරවාරි මාසයේදී සේනාරත්න නැවත ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඇතුළත් කර ගත අතර පක්ෂයේ උප සභාපති ලෙස පත් කරන ලදී. 2015 වසරේ පැවති පාර්ලිමේන්තු මැතිවරණයේදී ඔහු යහපාලනය සඳහා වූ එක්සත් ජාතික පෙරමුණ (UNFGG) නියෝජනය කළ අතර 2020 දී ඔහු එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් වූ නව දේශපාලන පක්ෂය වන 'සමගි ජන බලවේගය' හරහා තරඟ කළේය.[2][5][1]

"දුම්කොළ, විශේෂයෙන් දුම් රහිත දුම්කොළ වල අහිතකර බලපෑම් අවම කිරීම සඳහා ඔහුගේ කාර්යභාරය" සහ "සිගරට් ඇසුරුම්වල රූපමය සෞඛ්‍ය අවවාද හඳුන්වාදීම වෙනුවෙන්" ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) විසින් 2015 වසරේ ලෝක දුම්කොළ විරෝධී දින සම්මානය පිරිනමන ලදී. 2015 දෙසැම්බර් මාසයේදී එවකට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන අතින් ඔහු මෙම සම්මානය ලබා ගත්තේය.[6][7]

රූපය 2: සේනාරත්න, එවකට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන අතින් ලෝක දුම්කොළ විරෝධී දින සම්මානය ලබා ගැනීම. ලෝක සෞඛ්‍ය සංවිධානයේ කලාපීය අධ්‍යක්ෂ (අග්නි දිග ආසියා කලාපය) ආචාර්ය පූනම් ඛේත්‍රපාල් සිං සහ අමාත්‍ය සේනාරත්නගේ බිරිඳ සහ පෞද්ගලික ලේකම් වෛද්‍ය සුජාතා සේනාරත්න එම රූපයේ සිටිති.[6]

රාජිත සේනාරත්න විවාහ වී සිටින්නේ වෘත්තියෙන් උපදේශක වෛද්‍ය පරිපාලකවරියක වන සුජාතා සේනාරත්න සමඟ වන අතර චතුර සහ එක්සත් යන පුතුන් දෙදෙනාගේ පියා වේ. වැඩිමලා වන චතුර සේනාරත්න දේශපාලනයේ ද ක්‍රියාකාරී වන අතර ශ්‍රී ලංකාවේ 8 වැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයකු ලෙස ද කටයුතු කළේය.[8][9][10]

දැරූ දේශපාලන තනතුරු

  • ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ශිෂ්‍ය සංගමයේ සභාපති - 1974 [2][1][11]
  • පළාත් සභා මන්ත්‍රී, බස්නාහිර පළාත - 1988[2][5]
  • බහුජන නිදහස් පෙරමුණේ මහ ලේකම් - 1988[2][11]
  • පාර්ලිමේන්තු මන්ත්‍රී - 1994 සිට වර්තමානය දක්වා [2][5]
  • ඉඩම් සහ ඉඩම් සංවර්ධන අමාත්‍ය - 2001 දෙසැම්බර් සිට 2004 අප්‍රේල් දක්වා[2][12][11][5]
  • ඉදිකිරීම් සහ ඉංජිනේරු සේවා අමාත්‍ය - 2007 ජනවාරි සිට 2010 අප්‍රේල් දක්වා[2][13][11][5]
  • ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය - 2010 අප්‍රේල් සිට 2014 නොවැම්බර් දක්වා[2][14][5]
  • ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙහි උප සභාපති - 2015 පෙබරවාරි[2][5]
  • සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය කැබිනට් අමාත්‍ය - 2015 ජනවාරි සිට 2019 නොවැම්බර් දක්වා[2][15][5]

දුම්කොළ ආශ්‍රිත ක්‍රියාකාරකම්

ධනාත්මක බලපෑම්

චීන සිගරට් ආනයනය කිරීමට ගත් තීරණයට විරුද්ධ වීම

2019 දී එවකට මුදල් අමාත්‍ය මංගල සමරවීර සිගරට් වලින් බදු ආදායම වැඩි කිරීමට සහ චීන කම්කරුවන්ගේ ඉල්ලුම සපුරාලීම සඳහා චීන සිගරට් ආනයනය කිරීමේ රජයේ සැලැස්ම ප්‍රකාශයට පත් කළේය. එය ක්‍රියාත්මක කළහොත් තමන් ආණ්ඩුවෙන් ඉල්ලා අස්වන බව පවසමින් සේනාරත්න එම යෝජනාව ප්‍රසිද්ධියේ විවේචනය කරමින් විරෝධය පෑවේ ය.[16] තවද, විදේශ සිගරට් ආනයනය කිරීමට මුදල් අමාත්‍යාංශය ගෙන ඇති තීරණය වහා අත්හිටුවන ලෙස ඉල්ලමින් ඔහු එවකට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ වෙත ලිපියක් ද යොමු කළේය.[17]

රාජ්‍ය ආයතනවල බුලත්, දුම්කොළ සහ පුවක් ආශ්‍රිත නිෂ්පාදන පරිභෝජනය සහ අලෙවිය තහනම් කිරීමේ යෝජනාව

සේනාරත්න විසින් රාජ්‍ය ආයතනවල බුලත්, දුම්කොළ සහ පුවක් ආශ්‍රිත නිෂ්පාදන පරිභෝජනය සහ අලෙවිය තහනම් කිරීමට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළේය. මෙම යෝජනාව 2019 මාර්තු 12 වන දින කැබිනට් මණ්ඩලය විසින් අනුමත කරන ලදී.[18] තවද, මුඛ පිළිකා හා සම්බන්ධ අවදානම සලකා සැපීම තහනම් කිරීම පිළිබඳ රාජ්‍ය පරිපාලන චක්‍රලේඛයක් නිකුත් කිරීමට කැබිනට් අනුමැතිය ලබා දී ඇත. [19][20]

ජාතික සහ ජාත්‍යන්තර සංසදවල දුම්කොළ පාලනය වෙනුවෙන් පෙනී සිටීම

සේනාරත්න, ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යවරයා ලෙස 2018 මැයි 26 වන දින ජිනීවා හි පැවති 71 වැනි ලෝක සෞඛ්‍ය සමුළුව ඇතුළු අවස්ථා කිහිපයකදී දුම්කොළ පාලනය වෙනුවෙන් පෙනී සිටිමින් එහි හානිය අවධාරණය කළේය.[21]

දුම්වැටි සඳහා වැඩිම බද්දක් පැනවීම

2016 ඔක්තෝබර් සහ නොවැම්බර් මාසවල සුරාබදු බද්ද වැඩි කිරීම සහ 2016 නොවැම්බර් මාසයේදී 15% එකතු කළ අගය මත බද්ද (වැට්) හඳුන්වාදීමත් සමඟ 2016 වසරේ සිගරට් සඳහා ඉහළම බදු වැඩිවීම වාර්තා විය.[22][23] [24] 2016 ජූලි මාසයේදී දුම්වැටි සඳහා 90% ක බදු ප්‍රතිශතයක් පැනවීමට එවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ රාජිත සේනාරත්න ඒකාබද්ධ කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරන ලදී. එම බදු වැඩි කිරීමේ ප්‍රධාන අරමුණ වූයේ එම වසර අවසන් වන විට සෞඛ්‍ය සේවා සඳහා පනවා තිබූ වැට් බද්ද ඉවත් කිරීම ය.[25][26] 2016 සැප්තැම්බර් මාසයේදී නිෂ්පාදන මත බද්ද වැඩි කිරීමට කැබිනට් අනුමැතිය ලබා දෙන ලදී. කෙසේ වෙතත් අවසාන බදු වැඩිවීම මුළු අවසන් සිගරට් මිලෙන් 72% ක් විය. [27][24]

බ්‍රිතාන්‍ය ඇමරිකානු දුම්කොළ සමාගමේ ඉහළ පෙළේ නිලධාරීන් සිගරට් සඳහා බදු වැඩි කිරීමට මැදිහත් වීමට උත්සාහ කළ බව ඔහු 2017 නොවැම්බර් 01 වැනි දින පැවති මාධ්‍ය හමුවකදී හෙළි කළේ ය. ඔහුට අනුව ඔවුන් එවක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ හමුවී බදු ඉහළ නැංවීම නතර කිරීමට උත්සාහ කර ඇත. තවද, බදු වැඩි කිරීමට එරෙහිව ලියන ලද මාධ්‍ය ලිපි, ප්‍රචාරණ ආයතනයක් හරහා පළ කිරීමට ලංකා දුම්කොළ සමාගම (CTC) අනුග්‍රහය දක්වන බවට ඔහු ප්‍රසිද්ධියේ චෝදනා කළේය. ලංකා දුම්කොළ සමාගම (CTC) යනු ශ්‍රී ලංකාවේ දුම්කොළ නිෂ්පාදනයේ සහ අලෙවියේ ඒකාධිකාරය දරන බ්‍රිතාන්‍ය ඇමරිකානු දුම්කොළ සමාගම (BAT) අනුබද්ධ ආයතනයකි. .[28] වැඩි විස්තර සඳහා කරුණාකර බ්‍රිතාන්‍ය ඇමරිකානු දුම්කොළ සමාගම ශ්‍රී ලංකාවේ සිගරට් බද්දට බලපෑම් කරයි සහ දුම්කොළ බද්දට එරෙහිව ලංකා දුම්කොළ සමාගම අනුග්‍රහය දක්වන පුවත් ලිපි - සෞඛ්‍ය අමාත්‍ය පිටු බලන්න.

රූපය 3: "සමහර මුදල් අමාත්‍යාංශ නිලධාරීන් දුම්කොළ බදු සම්බන්ධ සාකච්ඡාවලදී දුම්කොළ සමාගමෙන් පැමිණි අය ලෙස කටයුතු කළා" යනුවෙන් සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රසිද්ධියේ කළ ප්‍රකාශය අද පුවත්පත වාර්තා කිරීම.[29]

සිගරට් නොවන දුම්කොළ නිෂ්පාදන තහනම් කිරීම

සිගරට් නොවන දුම්කොළ නිෂ්පාදන සඳහා වන රෙගුලාසි පිළිබඳ ගැසට් නිවේදනයක් 2016 සැප්තැම්බර් 1 වන දින නිකුත් කරන ලදී. රෙගුලාසිවලට අනුව සිගරට් නොවන දුම්කොළ නිෂ්පාදන, දුම්කොළ අඩංගු ඉලෙක්ට්‍රොනික සිගරට් සහ රස ගන්වන ලද, වර්ණ ගන්වන ලද හා පැණි රසැති සිගරට් නිෂ්පාදනය, ආනයනය හෝ විකිණීම තහනම් කර ඇත. [30][31]

දුම්කොළ කර්මාන්තයෙන් පරිත්‍යාග ලබාගැනීමට විරුද්ධ වීම

2016 වසරේ අයවැය කතාවේදී එවකට මුදල් ඇමති රවී කරුණානායක දුම්වැටි විරෝධී ව්‍යාපාර සඳහා ජනාධිපති අරමුදලට ලංකා දුම්කොළ සමාගම (CTC) වෙතින් රුපියල් මිලියන 500 ක පරිත්‍යාගයක් ඉල්ලා සිටියේය.[32] ශ්‍රී ලංකාව, ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) දුම්කොළ පාලනය පිළිබඳ නීතිමය රාමුවට (FCTC) අත්සන් කර ඇති බැවින් පරිත්‍යාගය ක්‍රියාවට නැංවීම වහාම නැවැත්විය යුතු බව සේනාරත්න කියා සිටියේ ය.[33]

රූපමය සෞඛ්‍ය අවවාද (PHWs) ක්‍රියාත්මක කිරීම

ලංකා දුම්කොළ සමාගම (CTC) විසින් ගෙන එන ලද නීතිමය අභියෝගයට පෙර මුල් අභිප්‍රාය වූ සිගරට් පැකට්ටුවේ මතුපිට ප්‍රමාණයෙන් 80% ක් ආවරණය කරමින් රූපමය සෞඛ්‍ය අවවාද ක්‍රියාත්මක කිරීමට හැකිවන පරිදි දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරී (NATA) පනත සංශෝධනය කිරීම සඳහා 2015 මාර්තු 3 වන දින සේනාරත්න සාමාජිකත්වය දැරූ, අමාත්‍ය මණ්ඩල පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුව විසින් අනුමත කරන ලදී. [34][35][24]

සිගරට් පැකට්ටුවේ මතුපිට ප්‍රමාණයෙන් 80% ක් ආවරණය කරමින් රූපමය සෞඛ්‍ය අවවාද ක්‍රියාත්මක කිරීමේ ක්‍රියාවලිය කඩාකප්පල් කිරීමට “දුම්කොළ සමාගම” රජයට අවස්ථා දෙකකදී රුපියල් බිලියන 1 ක් සහ රුපියල් බිලියන 3ක් වශයෙන් ලබා දුන් බවට සඳහන් කරමින් සේනාරත්න අල්ලස් චෝදනා එල්ල කළේ ය. [36] වැඩි විස්තර සඳහා කරුණාකර සිගරට් අසුරන මත රූපමය අවවාද: අල්ලස් චෝදනා පිටුව බලන්න.

නීති විරෝධී දුම්කොළ වෙළඳාමට දුම්කොළ කර්මාන්තයේ පවතින සම්බන්ධතාවය හෙළිදරව් කිරීම

විදේශ දුම්වැටි ජාවාරමට ලංකා දුම්කොළ සමාගම (CTC) සෘජුවම සම්බන්ධ බවට 2019 ජනවාරි 19 වැනි දින ප්‍රසිද්ධ උත්සවයක දී සේනාරත්න චෝදනා කළේය. අමාත්‍ය සේනාරත්න කළ එම ප්‍රකාශය ජාතික පුවත්පතක් වාර්තා කළ අතර ලංකා දුම්කොළ සමාගම (CTC) එම චෝදනාව ප්‍රතික්ෂේප කරමින් මාධ්‍ය නිවේදනයක් එම පුවත්පතේ ම පසු දිනක පළ කළේය. [37]වැඩි විස්තර සඳහා කරුණාකර ලංකා දුම්කොළ සමාගම විසින් තම කොටස් හිමියන් නොමඟ යැවීම: නීති විරෝධී සිගරට් පිළිබඳ ගැටළුව පිටුව බලන්න.

නව දුම්කොළ පාලන පියවර සඳහා කරන ලද යෝජනා

ඔහු සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කරන කාලය තුළ පහත යෝජනා ඉදිරිපත් කර තිබුණද, ඔහුගේ පාලන කාලය තුළ හෝ අද දක්වා ඒවා කිසි විටෙක ක්‍රියාත්මක නොවීය.

  • සිගරට් තනි තනි වශයෙන් අලෙවිය තහනම් කිරීම
සේනාරත්න විසින් 2018 සැප්තැම්බර් 11 වැනි දින සිගරට් තනි තනි වශයෙන් අලෙවිය තහනම් කිරීමට යෝජනා කරන ලදී. කැබිනට් අමාත්‍යවරුන් හතර දෙනෙකුගේ විරෝධය මත මෙම යෝජනාවට කැබිනට් අනුමැතිය නොලැබුණි.[38] වැඩි විස්තර සඳහා කරුණාකර ශ්‍රී ලංකාවේ තනි සිගරට් අලෙවිය තහනම් කිරීමට යෝජනාවක් පිටුව බලන්න.
  • දුම්කොළ නිෂ්පාදන සඳහා සම්මත ඇසුරුම්කරණය හඳුන්වා දීම
සේනාරත්න විසින් දුම්කොළ නිෂ්පාදන සඳහා සම්මත ඇසුරුම්කරණය හඳුන්වාදීම සඳහා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළ අතර 2018 අප්‍රේල් මාසයේ දී අනුමැතිය ලබා ගැනීමට සමත් විය.[39]කෙසේ වෙතත්, මෙම පියවර තවමත් ක්‍රියාත්මක කර නොමැත.
  • දුම්කොළ වගාව තහනම් කිරීම
2020 වසර වන විට දුම්කොළ වගාව තහනම් කරන බව සේනාරත්න 2017 දී ප්‍රකාශ කළේය. කෙසේ වෙතත්, 2020 දෙසැම්බර් වන විට, එවැනි තහනමක් පැනවීමට හෝ ක්‍රියාත්මක කිරීමට සක්‍රීය ක්‍රියාමාර්ග ගෙන නොතිබුණි.[40][41]
  • පාසල් වල සිට මීටර් 500ක අරය සහිත ප්‍රදේශය තුළ දුම්වැටි අලෙවිය තහනම් කිරීම
2016 දී සේනාරත්න යෝජනා කළේ පාසලක සිට මීටර් 500ක අරයක් සහිත ප්‍රදේශය තුළ දුම්කොළ නිෂ්පාදන විකිණීම තහනම් කිරීමටය.[42][43][44]

සිගරට් තොග ගබඩා කිරීමේ ගැටළුව සඳහා ලංකා බැංකුව (BOC) සම්බන්ධ වීමට විරුද්ධ වීම

ලංකා බැංකුව (BOC) 2020 දෙසැම්බර් මාසයේ දී විභව බදු වැඩිවීමකට සහ මිල වැඩි කිරීමට පෙර සිගරට් තොග ගබඩා කිරීමට ඩී. එස්. ගුණසේකර සමාගම වෙත ලංකා බැංකුව (BOC) රුපියල් මිලියන 3,150 ක ණයක් ලබා දුන් බවට චෝදනා එල්ල විය. වැඩි විස්තර සඳහා ලංකා බැංකුව සහ සිගරට් තොග ගබඩා කිරීමේ ගැටළුව අපගේ පිටුවට පිවිසෙන්න.

මෙම ණය සඳහා අනුමැතිය ලබා ගැනීමට ඩී. එස්. ගුණසේකර සමාගම කොමිස් මුදලක් ලෙස රුපියල් මිලියන 600ක් ගෙවූ බවට සේනාරත්න චෝදනා කළේය. ලංකා බැංකුවේ මෙම ‘ණය මගඩිය’ විමර්ශනය කිරීම සඳහා ජනාධිපති කොමිසමක් පත් කරන ලෙස ඔහු මාධ්‍ය හමුවකදී රජයෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියේය.[45]

සෘණාත්මක බලපෑම්

දුම්කොළ සමාගමේ අධ්‍යක්ෂවරයෙකු රෝහලක අධ්‍යක්ෂවරයෙකු ලෙස පත් කිරීම සාධාරණීකරණය කිරීම

ශ්‍රී ලංකාවේ මතභේදයට තුඩු දී ඇති පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය වූ දකුණු ආසියා තාක්ෂණ හා වෛද්‍ය විද්‍යා ආයතනයෙහි (SAITM) වෛද්‍ය උපාධි අපේක්ෂකයින් සඳහා සායනික පුහුණු අවස්ථා ලබා දීමේ අතිරේක අරමුණ ඇතිව වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු ශික්ෂණ රෝහල (NFTH) පෞද්ගලික රෝහලක් ලෙස ආරම්භ කරන ලදී. .[46][47] පසුව, මෙම පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය වසා දැමීමේ මහජන ඉල්ලීමට ඉඩ දෙමින් රජය විසින් පත් කරන ලද අධ්‍යක්ෂ මණ්ඩලයක් යටතේ ක්‍රියාත්මක වීම සඳහා 2017 අගෝස්තු මාසයේදී රෝහල රජයට පවරා ගැනීමට තීරණය කරන ලදී.[48] 2017 වසරේ දී, ලංකා දුම්කොළ සමාගමෙහි (CTC) ස්වාධීන අධ්‍යක්ෂවරයෙකු වන දිනේෂ් වීරක්කොඩි, අමාත්‍ය සේනාරත්න විසින් කරන ලද යෝජනාවකට අනුව NFTH හි පළමු පාලක මණ්ඩල සාමාජිකයෙකු ලෙස පත් කරන ලදී. [49] මෙම පත් කිරීම මහජන සෞඛ්‍ය ප්‍රතිපත්තිවල අවශ්‍යතා අතර ගැටුම් මඟහරවා ගැනීම පිළිබඳ දුම්කොළ පාලනය පිළිබඳ නීතිමය රාමුවෙහි (FCTC) 5.3 වගන්තියෙහි නිර්දේශ සෘජුවම උල්ලංඝනය කිරීමකි. වැඩි විස්තර සඳහා කරුණාකර දුම්කොළ පාලනය පිළිබඳ නීතිමය රාමුවෙහි (FCTC) 5.3 වගන්තිය පිටුව බලන්න).

මෙම පත්වීමට එරෙහිව සමාජ මාධ්‍ය තුළ ඇති වූ හඬට ප්‍රතිචාර දක්වමින් වීරක්කොඩි වරලත් ගණකාධිකාරීවරයෙකු සහ අග්‍රාමාත්‍යවරයාගේ උපදේශකයෙකු බව සඳහන් කරමින් සේනාරත්න 2017 ජූලි මාසයේ පැවති මාධ්‍ය හමුවක දී එය සාධාරණීකරණය කළේ ය.[50]වැඩි විස්තර සඳහා කරුණාකර දුම්කොළ සමාගමේ අධ්‍යක්ෂකවරයා නෙවිල් ප්‍රනාන්දු රෝහලේ පාලක මණ්ඩලයට පත් කිරීම පිටුව බලන්න.

වෙනත් මත්ද්‍රව්‍ය ආශ්‍රිත ක්‍රියාකාරකම්

කංසා වගා කිරීමට යෝජනා කිරීම

සේනාරත්න, සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කරන සමයේ අවස්ථා තුනකදී වෛද්‍ය අවශ්‍යතා සඳහා කංසා වගා කිරීමේ සැලසුමක් පිළිබඳව ප්‍රසිද්ධියේ කතා කළේය. එයට ප්‍රධාන ධාරාවේ ජාතික පුවත්පත්වල පුළුල් මාධ්‍ය ආවරණයක් ලැබුණි (රූපය 4).[51][52] වැඩි විස්තර සඳහා මරිජුවානා නීතිගත කිරීමේ ව්‍යාපාරය සහ දුම්කොළ කර්මාන්තය පිටුව බලන්න.

රූපය 4: වෛද්‍ය අවශ්‍යතා සඳහා කංසා වගා කිරීමට සෞඛ්‍ය අමාත්‍යවරයා සැලසුම් කරන බව වාර්තා කරන අද පුවත්පත[52]

Tobacco Unmasked සම්පත්

මූලාශ්‍ර

  1. 1.0 1.1 1.2 Parliament of Sri Lanka. Hon. (Dr.) Rajitha Senaratne, M.P., undated, accessed November 2020
  2. 2.00 2.01 2.02 2.03 2.04 2.05 2.06 2.07 2.08 2.09 2.10 People pill. Rajitha Senaratne, undated, accessed July 2020
  3. Manthri.lk. Rajitha Senaratne, 2017, accessed July 2010
  4. Facebook. Rajitha Senarathna – Media, Undated, accessed July 2020
  5. 5.0 5.1 5.2 5.3 5.4 5.5 5.6 5.7 Wikiwand. Rajitha Senaratne, undated, accessed July 2020
  6. 6.0 6.1 Daily News. WHO Award for Minister Rajitha Senaratne, 8 December 2015, accessed June 2020
  7. World Health Organization. No Tobacco Day 2015 awards - the winners, Undated, accessed July 2020
  8. The Sunday Times. Family jewels on parade in new parliament, 23 August 2015, accessed July 2020
  9. Parliament of Sri Lanka. Hon. Chathura Sandeepa Senaratne, M.P., undated, accessed July 2020
  10. N Gunatilleke. ‘Nurses contribute much to meet targets in health sector’, Daily News, 16 May 2018, accessed December 2020
  11. 11.0 11.1 11.2 11.3 Business Today. Outspoken With Strong Ideology, September 2018, accessed July 2020
  12. Ministry of Justice. DAYARATNE vs. RAJITHA SENARATNE , MINISTER OF LANDS AND OTHERS, 2016, accessed July 2020
  13. Facebook. Green Bold (UNP) [official], 17 October 2014, accessed July 2020
  14. Ministry of Foreign Relations-Sri Lanka. Fisheries and Aquatic resource development Minister Rajitha Senaratne visits New Delhi, 18 January 2014, accessed July2020
  15. World Health Organization South-East Asia Region - WHO SEARO. Rajitha Senaratne, Minister of Health, Nutrition & Indigenous Medicine, Sri Lanka, YouTube, 11 September 2018, accessed July 2020
  16. Daily Mirror. withdraws plans to allow Chinese cigarette imports, 3 July 2019, Accessed July 2020
  17. SA Jayasekera. importing cigarettes from China: Rajitha tells PM, 28 June 2019, accessed July 2020
  18. Department of Government Information. Cabinet Decisions - 12.03.2019, 2019, accessed July 2020
  19. Colombo Page News Desk. Sri Lanka bans using or selling betel and associated products in the premises of public institutions, 15 March 2019, accessed December 2020
  20. Ministry of Public Services, Provincial Councils and Local Government. Circular Manager, Undated, accessed December 2020
  21. N Gunatilleke. Sri Lanka committed to preserve Universal Health Coverage - Minister Rajitha, Daily News, 26 May 2018, accessed July 2020
  22. Ravi Karunanayake. The Gazette of the Democratic Socialist Republic of Sri Lanka Extraordinary PART I : SECTION (I) — GENERAL Government Notifications, 3 October 2016, accessed December 2020
  23. Ravi Karunanayake. The Gazette of the Democratic Socialist Republic of Sri Lanka Extraordinary PART I : SECTION (I) — GENERAL Government Notifications, 10 November 2016, accessed December 2020
  24. 24.0 24.1 24.2 World Bank Group. Overview of tobacco use, tobacco control, legislation and taxation, 4 August 2017, accessed December 2020
  25. N Gunatilleke. Cabinet Paper for imposition of 90 percent tax on tobacco, Daily News, 30 July 2016, accessed June 2020
  26. N Gunatilleke. tobacco tax: President, Health Minister to present joint Cabinet paper, Daily News, 15 July 2016, accessed June 2020
  27. T Fernando. granted for VAT, production tax increases on cigarettes, News first.lk, 30 September 2016, accessed July 2020
  28. Sri Lanka Mirror. Joke from Rajitha for SLM Anniversary (Video), 01 November 2017, accessed July 2020
  29. Chamara Sampath. දුම්කොළ බදු සාකච්චාවේදී මුදල් අමාත්යංශයේ ඇතැම් නිලධාරීන් දුම්කොළ සමාගමේ නිලධාරීන් මෙන් හැසිරුණා, Ada, 08 September 2016, Accessed from the Library of Alcohol and Drug Information Centre (ADIC) Sri Lanka
  30. The Gazette of the Democratic Socialist Republic of Sri Lanka, PART I : SECTION (I) — GENERAL Government Notifications, 1September 2016, accessed December 2020
  31. N Gunatilleke. Smokeless tobacco products banned, Daily News, 20 July 2017, accessed December 2020
  32. K Hettiarachchi. Budget under fire for offer to CTC, The Sunday Times, 13 November 2016, accessed June 2020
  33. N Gunatilleke. Grant from Tobacco Company must be refused: Health Minister, Daily News, 23 November 2016, accessed June 2020
  34. Parliament of The Democratic Socialist Republic of Sri Lanka. National Authority on Tobacco And Alcohol (Amendment) Act, No. 3 of 2015, 3 March 2015, accessed December 2020
  35. WHO Framework Convention on Tobacco Control. Sri Lanka: Health warnings now cover 80% of pack surfaces, Undated, accessed December 2020
  36. The Island. CTC responds to bribery allegations Pictorial health warnings on Cigarette pack, 6 February 2015, accessed June 2020
  37. The Island. Minister: Tobacco companies behind fag smuggling, 20 January 2019, accessed June 2020
  38. SA Jayasekera. of loose fags will be banned: Rajitha, Daily Mirror Online, 9 March 2017, accessed June 2020
  39. Z Imtiaz. Cabinet approves Standard Packaging for tobacco products, Daily News, 12 April 2018, accessed June 2020
  40. S Marasinghe and D Mudalige. cultivation to be banned by 2020, Daily News, 7 June 2017, accessed June 2020
  41. S Marasinghe and D Mudalige. [1], Daily News, 8 June 2017, accessed June 2020
  42. N Gunatilleke. proposes to ban tobacco products sale close to schools, Daily News, 25 November 2016, accessed June 2020
  43. Ada Derana. sale near schools to be banned –Rajitha, 24 November 2016, accessed June 2020
  44. Colombo Gazette. to ban sale of cigarettes near schools, 24 November 2016, accessed June 2020
  45. Y. Perera. SJB urges Govt. to appoint presidential commission, 8 February 2021, accessed September 2021
  46. Dr. Neville Fernando Teaching Hospital. Official website, Undated, accessed December 2020
  47. D De Alwis. Government seizes control of private teaching hospital, University World News, 30 June 2017, accessed December 2020
  48. ColomboPage. Government to take over The Neville Fernando Hospital tomorrow, 16 July 2017, accessed July 2020
  49. Daily Mirror. Managed by 14-member board of directors from Aug.1, 28 July 2017, accessed July 2020
  50. C Sampath. රජයේ වෛද්ය නිලධාරින්ගේ සංගමය චෝදනා කරන පුද්ගලයා වරලත්ගණකාධිකාරවරයෙකු මෙන්ම, අග්රාමාත්යවරයාගේ උපදේශකවරයෙක්, Ada, 31 July 2017, accessed July 2020
  51. D Perera. අක්කර සීයක ගංජා වවයි, Mawbima, 17 August 2017, accessed July 2020
  52. 52.0 52.1 SS Kathriarachchi. රාජිත කංසා වවයි, Ada, 04 January 2016, accessed July 2020